නුවරඑළිය ගාමිණි ජාතික පාසලේ උසස් පෙළ අංශයේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුවෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියකට සම්බන්ධ එම පාසලේ විදුහල්පතිවරයා, ගුරු මණ්ඩලයේ භික්ෂුන් වහන්සේ දෙනමක් සහ ගුරුවරුන් තිදෙනෙක් ඇතුළු සැකකරුවන් හය දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය පවසනවා.
2024 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අයදුම්පත් ලබාගැනීමට ඉකුත් 3 වන දින එම සිසුවා පාසලට ගිය අවස්ථාවේ සිසුවාගේ කොණ්ඩය අධික ලෙස වැවී තිබූ නිසා විදුහල්පතිවරයා කොණ්ඩය කපා පැමිණෙන ලෙසට පහරදී ඇති බවත්, විදුහල්පතිවරයාගේ පහරින් බෙරීමට සිසුවා අත ඔසවා සිටි අවස්ථාවේ පාසලේ ගුරුවරුන් වශයෙන් සේවය කරන භික්ෂුන් වහන්සේ දෙපළ සහ ගුරුවරුන් තිදෙනා සිසුවාට පහරදී ඇති බවට සඳහන් කරමින් සිසුවාගේ දෙමව්පියන් විසින් නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
දෙමව්පියන්ගේ පැමිණිල්ල අනුව එම විදුහලේ විදුහල්පතිවරයා, ගුරුවරුවන් පස් දෙනා නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාන්දි මෙනවිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
එලෙස ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් හය දෙනාට සිසුවාට කිසිදු බලපෑමක් සිදු නොකරන ලෙස දැඩි ලෙස අවවාද කර ලක්ෂයේ ශරීර ඇප 12ක් මත නිදහස් කර තිබෙනවා.
අදාළ නඩුව යළිත් අගෝස්තු මස 26 වනදා කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
Discussion about this post