පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්වකරුවන් පිරිසක් විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබුණා.
මූලික අයිතිවාසිකම් පෙත්සම් 9ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
අදාළ නියෝගය පෙත්සම් විභාගය අවසන් වනතුරු බලාත්මක වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය අද(24) කළා.
යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබුවා.
දින හයක් තිස්සේ පෙත්සම් විභාගය සිදු කළ අතර පසුගිය බ්‍රහස්පතින්දා දින අවසන් වරට පෙත්සම් විභාගය පැය අටකට ආසන්න කාලයක් සිදු කෙරුණා.
පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් විධිමත් ආකාරයෙන් අනුමත කර නොමැති බවයි පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් පෙන්වා දෙන්නේ.
එසේම ඔහු එම තනතුර සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියා පටහැනි බවත් පෙත්සම්කරුවන් අවධාරණය කර තිබුණා.
එම නිසා අදාළ පත් කිරීම් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙයසි අදාළ පෙත්සම්වලින් ඉල්ලා තිබුණේ.
අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස කතානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්, දේශබන්දු තෙන්නකෝන්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.
නීතිඥ සුරේන් ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ ශමින් පෙරේරා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ජනාධිපති නීතිඥ විරාන් කොරයා, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, නීතිඥ තිෂ්‍ය වේරගොඩ ඇතුළු නීතිඥවරුන් පිරිසක් පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවා.
Discussion about this post